ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 31/07/2018
දියවැඩියාව යනු අද ලොව පුරා සීඝ‍්‍රයෙන් වසංගතයක පරිමාණයෙන් පැතිරයන බෝ නොවන නිදන්ගත රෝගයකි. ඇස්තමෙන්තුවලට අනුව දැනට මිලියන 387ක් වන ලෝක දියවැඩියා රෝගී ජනගහනය 2035 වසර වන විට මිලියන 592 ඉක්මවා යනු ඇත. දැනට ස්ථිරව නොදත් කුමක් හෝ හේතුවක් නිසාවෙන් දකුණු ආසියානුවන් වශයෙන් අප දියවැඩියාව වැළදීමේ වැඩි ප‍්‍රවණතාවයක් පිළිබිඹු කරයි. දැනට ප‍්‍රකාශීත අධ්‍යයන ප‍්‍රතිඵලවලට අනුව, ලංකාවේ නාගරික ජනගහනයෙන් 20%කට වැඩි ප‍්‍රතිශතයක් මෙම රෝගයට ගොදුරු වී ඇති අතර, මෙම තත්වය අනාගතයේ දී තවත් දරුණු අතට පත්වන බව අපේක්ෂිතයි.
දියවැඩියා රෝගය වැළදෙන්නේ කෙසේ ද?
දියවැඩියාව හෙවත් “Diabetes Mellitus” යන රෝගය වැළදීමට හේතු කාරක වනුයේ අපගේ අග්න්‍යාශය නැමැති අවයවය මගින් ඉන්සියුලින් නැමැති හෝර්මෝනය නිපදවීමට අපොහොසත් වීම හෝ එය මගින් නිපදවන ඉන්සියුලින් හෝර්මෝනය එහි නියම කාර්යභාරය ඉටු කිරීමට අපොහොසත් වීමයි.
ලංකාවේ නාගරික ජනගහනයෙන් 20%කට වැඩි ප‍්‍රතිශතයක් මෙම රෝගයට ගොදුරු වී ඇත. මෙසේ සිදුවීමට අපේ ශරීරය තුළ පවතින ජන්මගත තත්වයන් මෙන්ම පාරිසරික සාධක ද හේතුපාදක වේ. ඔබේ පවුලේ අනෙකුත් සාමාජිකයින් දැනටමත් මේ රෝගයට ගොදුරු වී ඇත්නම් ඔබට ද එය වැළදීමේ හැකියාව වඩාත් තීව‍්‍රවේ. ඔබේ අයහපත් ආහාර පුරුදු, ව්‍යායාම මදකම, ස්ථුලතාවය, ඔබ කරා මෙම රෝගය වේගයෙන් ළගාකරදීමට හේතුපාදක වේ.
වඩාත් දුක්ඛදායක කාරණය නම්, අද සමාඡුය දෙස බලන විට වැඩිහිටියන්ට අමතරව විශාල වශයෙන් කුඩා ළමුන් ද මෙම රෝගයේ ගොදුරු බවට පත්වෙමින් පැවතීමයි. ආසියාතික ගැබිණි මවුවරුන්, ගර්භණී සමය තුළ දී දියවැඩියා රෝගයෙන් පෙළිමේ වැඩි ප‍්‍රවණතාවයක් පිළිබිඹු කරයි. ගැබිණි දියවැඩියාව හෙවත් “Gestational Diabetes Mellitus” තත්ත්වය මවට ද, දරු කළලයට ද විවිධාකාර අහිතකර ප‍්‍රතිඵල ගෙනදෙයි.
එහි සංකූලතා කවරේ ද?
දියවැඩියාව යනු නිදන්ගත නිට්ටාවට සුවකළ නොහැකි රෝගී තත්වයකි. ඔබ එය නියමාකාරයෙන් පාලනයකර නොගතහොත් කාලයත් සමග ශරීරයේ සෑම අවයවයක්ම එහි අහිතකර බලපෑමට ලක්වීමේ අවදානමක් පවතී. විශෙෂයෙන්ම හෘදයාබාධ, ඇස් අන්ධවීම, අංශභාගය, වකුගඩු අකර්මන්‍යවීම හා පාද අහිමිවීම, මෙහි වඩාත් භයානක සංකුලතා ලෙස හදුනාගෙන ඇත. බහුතරයක් දියවැඩියාව රෝගීන් මියයනුයේ හෘදයාබාධයක් වැළදීමෙනි. සෑම තප්පර 20කටම වරක්, ලෝකයේ කවර හෝ තැනක දී එක් දියවැඩියා රෝගියකු සිය පාදය අහිමි වී අබාධිතයෙකු බවට පත්වන බව අළුත්ම වාර්තා පෙන්නුම්කොට ඇත.
ඔබ දියවැඩියාව හදුනාගන්නේ කෙසේ ද?
දියවැඩියාව වැළදුණු පසු සුවකළ නොහැකිමුත් සුබ ආරංචිය නම් ඔබ උත්සාහ කළහොත් ඔබට එය වැළදීම වළකාළිය හැකි බවයි. ඔබට දියවැඩියාව වැළදුණු විට, අධික පිපාසය, අධික කුසගින්න, කෙට්ටු වීම, වැඩිපුර මුත‍්‍රා පහවීම වැනි තත්වයන් ඔබට ඇතිි විය හැක. නමුත් බොහොමයක් දියවැඩියා රෝගීන් මේ කිසිත් රෝගී ලක්ෂණයක් නොමැතිව සංකුලතා ඇතිවන තුරුම ඔබ අප අතර ජීවත් වේ.
දියවැඩියාව යනු නිදන්ගත නිට්ටාවට සුවකළ නොහැකි රෝගී තත්වයකි. ඔබ එය නියමාකාරයෙන් පාලනයකර නොගතහොත් කාලයත් සමග ශරීරයේ සෑම අවයවයක්ම එහි අහිතකර බලපෑමට ලක්වීමේ අවදානමක් පවතී
එසේනම් ඔබ දියවැඩියාව හදුනාගන්නේ කෙසේද?
ඔබට දියවැඩියාව වැළදීමට ඇති ප‍්‍රවණතාව ඔබට අනුමාන කළ හැකිය. එසේම නියමිත පරිදි දියවැඩියා පරීක්ෂාවට (FBS, HbA1C) ලක්වීම දියවැඩියාව හදුනාගැනීමට ඔබට ඇති වඩාත් සුදුසු පියවරය.
ඔබේ මව, පියා, සහෝදරයන්, දරුවන් දියවැඩියාවෙන් පෙළේ නම්, ඔබ ස්ථුල පුද්ගලයෙකු නම්, ඔබ ව්‍යායාම අඩු ඡීවන රටාවකට කොටු වුවකු නම්, ඔබ ගැබිණි සමයේ දී දියවැඩියා රෝගයට ගොදුරු වුවකු නම්, ඔබ පමා නොවී දියවැඩියා පරීක්ෂාවට ලක්විය යුතුමය. මේ කිසිත් හේතු සාධක නොමැති මුත් ඔබ වයස 40 ඉක්මවා යන්නකු නම්, දියවැඩියා පරීක්ෂාවට දැන් ඔබට කාලයයි.
ඔබ ගැබිණි මවක් නම්, පළමු වෛද්‍ය හමුවේ දී ම දියවැඩියා පරීක්ෂාවට ලක්වීම ඔබ සහ ඔබේ දරුවා වෙනුවෙන් ඔබ අනිවාර්යයෙන් අමතක නොකල යුත්තකි. පරීක්ෂාවකින් දියවැඩියාව නොමැතිවබව තහවුරු වු පසුවත් සෑම වසර 3කට වරක්ම නැවත පරීක්ෂාවට ලක්වීම නිර්දේශීතය. ඔබ දියවැඩියාවට පෙර තත්වයේ (Prediabetes) පසු වන බවට නිර්දේශිත වුවහොත් වෛද්‍ය උපදෙස් අනුව දියවැඩියාව වළකාලීමට ඔබ පියවර ගත යුතුය.
දියවැඩියාව වැළකීමට ඔබට කළ හැකි දේ ඔබ දන්නේ ද?
පවුලක් ලෙස වඩා යහපත් ජිවන රටාවකට යොමු වීම සුවබර හෙටක් වෙනුවෙන් අද ඔබට කළහැකි උපරිම ආයෝජනයයි. කුඩා කල සිටම ඔබේ දරුවාගේ දිව සහ මනස කෘතිම කෙටි කෑම, කෘතිම සීනි බීම, පිටි/ තෙල් බහුල කෑම වර්ගවලින් ඈත්කොට එළවළු, පළතුරු බහුල කෑම රටාවකට යොමු කිරීම දියවැඩියාව වැළකීමේ කල්පවත්නා පළමු පියවරයි. නිතිපතා ව්‍යායාම ඔබගේ කාර්යබහුල ජීවන රටාවේ අනිවාර්ය අංගයක් ලෙස මුසු කරගැනීම කළ නොහැක්කක් නොවේ. ඊට අවශ්‍ය වනුයේ ඔබේ අවශ්‍යතාව, උනන්දුව සහ මනා කාල කළමනාකරණය කිරීමේ තීක්ෂණතාවයයි. පමාවීමට කාලයක් නොමැත. දියවැඩියාවේ හෙට ගොදුර ඔබ විය හැකිය. අදම දියවැඩියාවට එරෙහිව නැගීසිටීමට අදිටන් කරගත යුතුය යන්න අපගේ පණිවුඩයයි.
වෛද්‍ය චන්ද්‍රිකා සුබසිංහ එන්ඩෝක්‍රිනොලොජි ජේෂ්ඨ ලේඛකාධිකාරී එම්.බී.බී.එස්. (MBBS) , MD
වෛද්‍ය උදිත බුල්ගහපිටිය එන්ඩෝක්‍රිනොලොජිස්ට් උපදේශක එම්.බී.බී.එස්. (MBBS), MD, FRCP