ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
01/06/2021
කොවිඩ්-19 වසංගතය වැනි කාලසීමාවක් තුළ ජීවත්වී අත්දැකීමක් අපට නොමැති අතර, මුළු මහත් ලෝකයම එක්වරම උඩු යටිකුරු කරන්නට කොවිඩ්-19 වසංගතයට හැකියාව ලැබිණි. 2020 වර්ෂයේ සිට මේ තත්ත්වයට මුහුණ දෙමින් සිටින අප බොහෝ දෙනා මේ අවිනිශ්චිතතාවයෙන් මිදෙන ආකාරයක් ගැන සිතමින් සිටිමු. මේ තත්ත්වය බරපතල ලෙස සැලකිය යුතු යැයි යනු අප දරන අදහස වන අතර, විශේෂඥ මනෝ චිකිත්සක කැරල් ගුණරත්න අමරසේකර මහත්මිය සමග අප ඒ පිළිබඳව කතා බහක නියැලුනෙමු. විශේෂඥ මනෝ චිකිත්සකවරියක ලෙස ඇය සතු පුළුල් අත්දැකීම් සම්භාරය බෙදාගනිමින් පවතින තත්ත්වය හමුවේ අනාගතයට සූදානම්විය යුතු ආකාරය හා සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගතකිරීමේ අවස්ථාව නිර්මාණය කරගන්නා අයුරු ඇය පැහැදිලිව සඳහන් කරන්නීය.
1) අපගේ දෛනික ජීවිතයේ සෑම මොහොතක්ම පාහේ අවිනිශ්චිතතාවයකට පත්කරන්නට කොවිඩ් වසංගතය සමත්වී තිබෙනවා. මෙම අනපේක්ෂිතබව සමග අප කටයුතු කරන්නේ කොහොමද සහ මානසික අවපීඩනය හා ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
කරුණු නොදැනුවත්ව සිටීම අපහසුතාවයන්ට පත්විය හැකි තත්ත්වයක්. මිනිසුන් වශයෙන් අපි ස්වභාවිකවම කුතුහලයට පත්වෙනවා. පාලනය වීමේ වැදගත්කම තේරුම් ගත්තොත් අපට සුරක්ෂිතව සිටින්නට පුළුවන්. කුමක් සිදුවේද යන කරුණ පිළිබඳ සිතාගත නොහැකි නිසා අවිනිශ්චිතතාවය මගින් අයහපත් තත්ත්වයක් ඇතිවිය හැකියි.
මේ කාලයෙහි පවතින අවිනිශ්චිතතාවය අසහනකාරීබවක් දක්වා වර්ධනය විය හැකි අතර ඇතැමුන්ට එය දරාගත නොහැකි මට්ටමට පැමිණෙන්න පුළුවනි. නොදැනුවත්කම සමග කටයුතු කිරීම ඉතා අසීරු අත්දැකීම් ගෙනදෙන්නක් වගේම මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය සඳහාද බරපතල බලපෑම් සිදු කිරීමේ හැකියාව ද තිබෙනවා.
අවිනිශ්චිතතාවය විසින් බියජනක බවක් ජනිත කරනවා නම් එයින් කණගාටුව හා මානසික අවපීඩනය ඉහළ යනවා. ඒ වගේම ජීවිතයේ සිදුවන වෙනස්කම්වලට මුහුණ දෙන්නට අපට බැහැ යනුවෙන් සිතෙනවා නම් එම සිතුවිලි සමග පරාජය හා මානසික අවපීඩනයක මනෝ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකියි. මක්නිසාද කියනවා නම් අපි මේ අවිනිශ්චිත තත්ත්වයන් තුල අසීරුවෙන් ජීවත් වෙද්දී කණගාටුවට පත්වන අපේ මනසට බියජනක හැඟීම් ඇතිවීම ස්වභාවිකයි. උදාහරණයක් වශයෙන් මම අසනීප විය හැකියි. වෛද්‍යවරුන් කොවිඩ්-19 සඳහා විසඳුමක් සොයා ගනීවිද, මිතුරන් සමග නැවත බැහැරට යන්න පුළුවන් වේවිද, අපට කෑම බීම ප්‍රමාණවත්ද වැනි හැඟීම් දක්වන්න පුළුවන්. දැනුවත් බවින් තොරවීම අහිතකර තත්ත්වයන් රැසකට මුල්විය හැකි අතර, අපගේ මානසිකත්වය බොහෝ සෘණාත්මක කරන්නට ඊට හැකි වෙනවා.
මිනිස් මනස නිර්මාණය වී තිබෙන්නේ එය ආරක්ෂා කරගත යුතු ආකාරයටයි. ඊට පුළුවන් ආවේගශීලීව හෝ සවිඥාණිකව කටයුතු කරන්න. සාමාන්‍යයෙන් ආතතිය හා මානසික අවපීඩනය ඇතිවන්නේ මනසේ පවතින තත්ත්වය මතයි. අප දැනුවත්ව හෝ නොදැනුවත්ව සිතට එන සිතුවිල්ලක් මනස පෝෂණය කරනවා. උදාහරණයක් වශයෙන් මෝටර් රථයක් ඔබ වෙතට පැමිණෙමින් තිබුනා නම් දෙවරක් නොසිතා ඔබ ඉවතට පනිනවා නේද? එක්වරම නොසිතූ මොහොතක උණුසුම් යමක් අතගෑවුනහොත් ඔබ එයින් වහාම අත ඉවතට ගන්නවා නේද? ස්වයං ආරක්ෂාව කියන්නේ මෙයයි. අතීත අත්දැකීම් ඔස්සේ නිර්මාණය වන සිතුවිලි මගින් අපේ ජීවිතයේ බොහෝ තැන් ආරක්ෂා කරමින් රැකවරණය ලබා දීම සිදුවෙනවා. කෝර්ටිසෝල් හා ඇඩ්රිනලීන් වැනි ආතති හෝමෝනයන්ට ඔබව ආරක්ෂා කරන්නට මොළය විසින් අණ කරනවා.
ආතතිය හා මානසික අවපීඩනය ඇතිවන්නේ බිය ජනක සිතුවිලි හරහායි. නොදැනුවත් දේ පිළිබඳව බියපත්වීම මිනිස් ස්වභාවයයි. මිනිස් ස්වභාවයේම කොටසක් විදියට සිතන පතන එක ගෙනහැර දක්වන්න පුළුවන්. එය අපට උපතින්ම හිමිවන හැකියාවක් වගේම අප සිතන ආකාරය වෙනස් කරමින් තේරීම් කරන්නත් පුළුවන්. මේ අවිනිශ්චිතතාවය කාලයේ හැටියට සාමාන්‍යයක් වශයෙන් පිළිගන්නට අප සූදානම් නම් හා එය ගැටළුවක් ලෙස නොසලකන්නේ නම්, අවිනිශ්චිතතාවය වඩාත් හොඳින් කළමනාකරණය කරගන්නට අපට හැකියාව තිබෙනවා. මම නිතරම මේ තත්ත්වයන් සායනවලදී දකිනවා.
2) මානසික සෞඛ්‍ය අපේ ක්‍රියාකාරීත්වයට වැදගත්වන්නේ කෙසේද?
චිත්තාවේගයන්ගේ බලය ඔබ අත්විඳ තිබෙනවාද? එය විසින් බුද්ධිය හසුරුවනවා. චිත්තාවේගයන්ට පුළුවන් ඔබව දුර්වලකමේ පතුලටම රැගෙන යන්නට. මිනිසාගේ ක්‍රියාකාරීත්වයට මානසික සෞඛ්‍ය කොතරම් වැදගත් වන්නේද යන කරුණ එයින් තේරුම් ගන්න පුළුවන්.
අපට නොදැනෙන හෝ නොපෙනෙන නිසා මානසික සෞඛ්‍ය කෙරෙහි මිනිසුන් යොමුකරන්නේ අඩු අවධානයක්. අපි වඩාත් සැලකිලිමත් වෙන්නේ ශාරීරික සෞඛ්‍ය ගැනයි. මූලිකවම වේදනාව දැනෙන්නට ගන්නේ ශාරීරිකව නිසා මිනිසුන් එසේ කරනවා. උදාහරණයක් වශයෙන් ඔබට පපුවේ වේදනාවක් තිබේ නම් ඔබ වෛද්‍යවරයෙකු වෙත යනවා නැතිනම් ඔබට තුවාලයක් තිබේ නම් ඔබ තුවාලය පිරිසිදු කර බෙහෙත් දමනවා. එවිට ඉක්මනින් සුවපත් වීමේ ක්‍රියාවලිය ඇරඹෙනවා.
ඒත් මානසික සෞඛ්‍ය ගැන ඔබ අවධානය යොමුකරනවාද? ඊට සුළු සැලකිල්ලක් පමණක් යොමුකරමින් නොසලකා හරින තත්ත්වයන් අපි දකිනවා.
ඇත්තටම මානසික සෞඛ්‍ය ශාරීරික සෞඛ්‍යයට වඩා ප්‍රබලයි. සිතීමේ ශක්තිය හා චිත්තාවේගයන් සමස්ත දිවියම ඉදිරියට ගෙන යනවා. ශාරීරික හා මානසික සෞඛ්‍ය කියන්නේ බයිසිකලයක රෝද වගේ සම්බන්ධයක් ඇති දෙයක්. ඒ දෙකම ඔබේ ශරීරයේ නීරෝගී පැවැත්මට අත්‍යවශ්‍යයි. මානසිකව ඇතිවන වේදනාවන් සඳහා නිසි ප්‍රතිකාර නොලැබුනොත් එහි ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්. මානසික සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍යයෙන් දැකගත හැකි වන්නේ එය ශාරීරික වේදනාවක් දක්වා වර්ධනය වූ පසුවයි. උදාහරණයක් විදියට ඔබට කෑම කන්නට හෝ නිදාගැනීමට නොහැකි විට, මානසික අවපීඩනයට පත්ව සිටින අවස්ථා දක්වන්න පුළුවන්. මේ ලක්ෂණ පෙන්නුම් කරන්නේ ඔබේ මනස දුර්වල වූ විට පමණයි.
මුලු ශරීරයම රෝගීභාවයට පත්කරන්නට මනසට හැකියාව තිබෙනවා. ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විධාන ලබා දෙන්නේ මොළයෙන්. ඒ නිසයි අපි කියන්නේ මානසික සෞඛ්‍ය ඉතා බලවත් හා වැදගත් බව.
3) අධික ආතතිය නිසා ඇතැම්විට අපට මෙන්ම අප අවට සිටින්නන්ටද කුඩාවට ආරම්භ වන ගැටළු තත්ත්වයන් දුරදිග යාමට පුළුවන්. අප අධෛර්යයට පත්වූ විට අපගෙන් අන් අයට සෘණාත්මක අදහස් සම්ප්‍රේෂණය වීම වලක්වා ගන්නේ කෙසේද ? අනික් අයගේ සෘණාත්මක අදහස්වලින් අපට බලපෑමක් වන්නට නොදී ආරක්ෂා වන්නේ කෙසේද?
අධෛර්යයමත් හෝ ආතතිමය තත්ත්වයන් හටගන්නේ කිසියම් සෘණාත්මක සිතුවිල්ලක, බියජනක හැඟීමක බලපෑම මතයි. බොහෝ විට බියජනකබව භාහිරට දිස්වන්නේ කේන්තිය, කෝපය හෝ භාහිර කිසිවක් පිළිබඳ කලකිරීම වැනි ආකාරයන්ගෙන් (උදා: තැනැත්තෙකු, දෙයක්, සත්වයෙක්).
ඔබට කුමක් කළ හැකිද:
4) පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු මානසිකව හා චිත්තාවේගීව හැසිරෙන්නේ නම් එය පවසන්නේ කෙසේද සහ ඔවුන්ට උපකාර කරන්නේ කෙසේද?
ඔබේ පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු මානසිකව හෝ චිත්තාවේගීව කිසියම් අපහසුතාවයකින් පෙළෙන්නේ නම් ඔහුගේ/ ඇයගේ හැසිරීම වෙනදා මෙන් සාමාන්‍ය නොවන බව ඔබට පෙනී යයි.
යම් කිසි අයෙකු ඔවුන්ගේ සාමාන්‍ය ජීවන විලාසිතාවෙන් බැහැරව කටයුතු කරන්නේ නම්, උදාහරණයක් වශයෙන් ආහාර ගැනීම වෙනදාට වඩා ඉතා වැඩි නම් හෝ ඉතා අවම නම්, වැඩිපුර නිදා ගන්නේ නම් හෝ අඩුවෙන් නිදාගන්නේ නම්, හුදෙකලාවී සිටින්නට උත්සාහ ගැනීම හෝ සාමාන්‍ය නොවන කම්මැලි බවක් දැනෙන්නට ගැනීම, අඩු හෝ අධි ක්‍රියාකාරී වීම, කේන්ති යෑම, කෝපය, දුක ඇති වීම හෝ අසාමාන්‍ය ලෙස කරදරකාරී වීම හෝ කිසියම් හෝ ශාරීරික ගැටළුවක් නොමැතිව වේදනාවන් ඇති වීම වැනි කරුණු මානසික හෝ චිත්තවේග අවපීඩන තත්ත්වයක ලක්ෂණ පෙන්නුම් කිරීමක් විය හැකියි.
ඉහත සඳහන් කළ ලක්ෂණ තිබේදැයි නිරීක්ෂණය කිරීම හෝ සාමාන්‍ය නොවන ආකාරයට හැසිරෙන්නේ දැයි විමසිලිමත් වීම මේ අවස්ථාවේ ලබා දිය හැකි විශිෂ්ටතම මානසික ප්‍රථමාධාරය වේ. එම තැනැත්තා හෝ තැනැත්තිය සමග ඔහු/ඇය මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව ඉතා මෘදු කතාබහක යෙදෙන්න. ඔවුන්ට කරදරකාරීත්වයක් ලෙස දැනෙන දේ පිළිබඳව නිදහසේ පවසන්න දෙන්න. එම ලක්ෂණ එක දිගට පවතින්නේ නම් එම තැනැත්තා හෝ තැනැත්තිය වෘත්තීය මානසික සෞඛ්‍ය චිකිත්සකවරයෙකු වෙත යොමුකරන්න.
5) කොවිඩ්-19 වසංගතය අපට වරින් වර දැඩි බලපෑම් කරන්නට පටන්ගෙන තිබෙන අතර, එහි අවසානයක් පෙනෙන්නට නැහැ. අපේ ජීවිතවල ඉලක්කගත අරමුණු වෙත ළඟාවීමට අවශ්‍ය ශක්තිය අඩුකර නොගනිමින් මේ කාලයේදී ජීවත්වන්නේ කෙහොමද?
මතකය හා පරිකල්පනය කියන්නේ මිනිසා සතු මානසික හැකියාවන්. අතීත අත්දැකීම් මතකයෙන් ඇද ගැනීමේ හැකියාව හා අනාගතය පිළිබඳ පරිකල්පන හැකියාව ඊට අයත්. ජීවිතයට සතුට රැගෙන ඒමට මානව ධාරිතාවය ඉහල නැංවීම මෙම මානව විශිෂ්ටත්වයෙහි අරමුණයි. නමුත් අවාසනාවන්ත ලෙස අප මනසින් සිදුකරන්නේ දුක් වේදනා සහිත මතකයන් ඇවිස්සීම හා අනාගතයේ සිදුවිය හැකි බියජනක දේ මොනවාදැයි පරිකල්පනය කිරීම පමණයි.
කොවිඩ්-19 වසංගතය රැළි වශයෙන් පැමිණෙමින් දුක් කරදර දෙන විට මනස අපට කියා සිටින්නේ කුමක්ද? අප ආරක්ෂා විය යුත්තේ කෙසේද?, පුද්ගලික සනීපාරක්ෂාව, සමාජ දුරස්ථභාවය, එන්නත්කරණය, මුඛ ආවරණ නිවැරදිව පැළඳීම හා විෂබීජහරණය කිරීම ආදිය පිළිබඳවයි. අතීතයෙන් පාඩම් උකහා ගනිමින් (මතකය) ජීවිතය උසස් කරගැනීමට වටිනාකම් එකතු කරගත යුතුයි. කිසිවක් සදාකාලිකව නොපවතින බව ඉතිහාසය අපට කියාදෙනවා. මෙම සත්‍යය අවබෝධ කරගෙන සිටීම නිසා අනාගතයේ වැදගත්වන හොඳම හැකියාවන් පිළිබඳ සිතන්නට උපකාර ලැබෙනවා.
අතීතය හා අනාගතය අතර දෝලනය වීම කිසිලෙසකින් වත් ප්‍රයෝජනවත් දෙයක් නොවන අතර, වෙනසක් සිදුවන්නේ වර්තමානයේදී පමණක් බව මතක තබා ගත යුතුයි. වර්තමානයේදී අප කරන ඕනෑම දෙයක් පාලනය කළ හැකියි. ඉතිං මේ මොහොත පිළිබඳ වඩාත් සැලකිල්ලෙන් සිටිමින් ජීවිතයේ අරමුණ වෙනුවෙන් ඉදිරියට යන්න. වසංගතය සමග දැනට පෙනෙන්නට තිබෙන අවුල්සහගත බව නිසැකයෙන්ම තුරන්ව යනු ඇති අතර, මේ මොහොත කෙරෙහි ඉලක්කගත වන්නට උත්සාහ කරන්න.
6) නිවසේ සිට වැඩකිරීම නව සාමාන්‍ය තත්ත්වයේදී මුහුණ දෙන තත්ත්වයක් වන අතර එය අභියෝගාත්මක වගේම ආතතිය ඇතිකරන්නක් විය හැකියි. මේ තත්ත්වයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්නා ආකාරය හා වෘත්තීය ජීවිතය හා සාමාන්‍ය ජීවිතය අතර සීමාවන් පවත්වාගෙන යා යුත්තේ කෙසේද?
සීමාවන් ඉක්මවා නොයන්නට වග බලා ගනිමින් චර්යා රටාවක් සකස් කරගන්න. ඒ අනුව කටයුතු කරන්නට හැකිතරම් උත්සාහ ගන්න. නිවසේ සිට කාර්යාලීය වැඩ කිරීම සඳහා වෙනම කාමරයක් හෝ ඉඩකඩක් වෙන්කර ගන්න. ඔබට බාධා ඇති නොවන සේ කටයුතු කරන්නැයි නිවසේ අනෙක් අය දැනුවත් කරන්න. නිවසේ කුඩා දරුවන් සිටී නම් ඔවුන්ට අපහසුතා ඇති නොවන සේ ඔබේ චර්යාව සකස් කරගන්න.
ඔබ සකස් කරගන්නා දෛනික චර්යා රටාවට ආහාර වේලාවන්, ජලය පානය කිරීමේ විවේකයන් හා ස්වයං රැකවරණය(not sure what this means) සඳහා ප්‍රමිතිගත වේලාවක් ඇතුලත් කරගන්න. ඔබ වැඩකරන්නේ ජීවිතය වඩාත් සුව පහසු කරගැනීම සඳහා බව මතක තබාගන්න. වැඩ කිරීම වෙහෙසකාරී නම් එම ක්‍රමවේදයෙහි සමබරතාවය නැවත සකස්කර ගත යුතු වෙනවා.
7) එකම නිවසක දවස පුරාම ජීවිතයේ සෑම මෙහොතක්ම ගෙවී යද්දී එයින් දෙමාපියන් හා දරුවන්, සැමියන් හා බිරින්දෑවරුන් හා ඥාතීන් අතර සබඳතාවයන්හි අභියෝගාත්මක තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ සියල්ලන් සමග සුහද සබඳතාවයන් පවත්වා ගනිමින් සතුටින් කාලය ගතකළ හැකි ආකාරයන් මොනවාද?
ඔබ පවුලේ සාමාජිකයින් සමග සතියේ දින හතේම පැය විසි හතර තුලම නිවසේ ගත කරන්නේ නම් ඔබ සහ ඔවුන් අතර ගැටළුකාරීත්වයන් ඇතිවීම ස්වභාවිකයි. කෙසේ වෙතත් චිත්තවේග බුද්ධියෙන් කටයුතු කිරීම මගින් ඔබ වඩාත් සමීපතමයින් ආශ්‍රිතව දැනෙන ආතතිය අවම කරගන්නට උපකාරී වෙනවා.
පීඩාවට ලක්වූ ඇතැම් සබඳතා සරලව ඉඩක් නිර්මාණය කරගනිමින් වැඩි දියුණුකළ හැකියි. ඔබ අඩුවෙන් දකින විට හෝ අඩුවෙන් කතාකරන විට ඔවුන්ගේ ගැටුම්කාරී බවින් ඉවත් වෙමින් ගැටළු ඇතිවීම වලක්වා ගන්න. පවුලේ සාමාජිකයෙකු සීමාවන් නිගරු කිරීමෙහි නියැලේ නම්, ඔවුන් ඔබගේ දුරස්ථභාවය නොපිළිගන්නා අතර, එම නිසා ඔබ තරමක් දැඩිව සිටිය යුතු වෙනවා.
තර්ක කිරිමෙන් වලකින්න. නමුත් ඔබට දැනෙන දේ කෙටියෙන් ඔවුන්ට සරලව සන්සුන්ව කියන්න. චෝදනා කිරීමෙන් වලකින්න.
ඔබේ සහකරු/ සහකාරිය ගේ උපකාර මත වැඩිපුර නොරැඳෙමින් ඔබට හැකි අයුරින් දේවල් කරන්නට උත්සාහ ගන්න. එසේ කරන්නට යෑමෙන් අනිකාට ඔවුන්ගේ නිදහස සීමා වී ඇති බව හැඟී යා හැකි බැවින් එය ඉතාම වැදගත් වෙනවා. ඔබ දෙදෙනාම වැඩ රාජකාරිවලින් නිදහස්ව සිටින විට එකට කාලය ගතකරන්නට උත්සාහ කරන්න.
නිර්මාණශීලීව විනෝදාත්මකව දවස ගතකරන්නට උත්සාහ කරන්න. රාත්‍රී කාලයේ චිත්‍රපටයක් නැරඹීම, පුවරු ක්‍රීඩාවල නියැලීම, අන්තර්ජාලය හරහා එකිනෙකා සම්බන්ධවෙන රාත්‍රී ආහාර වේල්, ගීත ගායනය හා කතාන්දර කීම, උපහාසාත්මක සිතුවම් ඇඳීම වැනි රාත්‍රී කාලයේ සිදු කළ හැකි ක්‍රියාකාරකම්වල නියැලීම වඩාත් සුදුසු විය හැකියි. මේවා ළමුන්ට බොහෝ වැදගත් වන්නේ ඔවුන් මනස ක්‍රියාකාරීව කම්මැලිකමකින් තොරව තැබිය යුතු අතර, එවැනි කාර්යයක නිරත නොවුවහොත් කේන්ති සහගත බවක් ඇතිකරන්නට පුළුවන් නිසායි.
8) කොවිඩ්-19 ආසාධිත මරණ වාර්තාවීම අඛණ්ඩව වර්ධනය වන අතර, තමන්ට සමීප අයෙකුගේ ජීවිත සමුගැන්ම ඇතිකරන්නේ ශෝචනීය හැඟීමකි. මේ හැඟීම් සමග ගනුදෙනු කරන්නේ කෙසේද?
ඉහළ යන මරණ සංඛ්‍යාව සඳහා මාධ්‍ය ඔස්සේ ලැබෙන ප්‍රචාරය පමණ ඉක්මවන බව පෙනෙනවා. එම මරණ ආශ්රිත ඡායාරූප හා නිරන්තර තොරතුරු යාවත්කාලීන කිරීම් මගින් සෘණාත්මක මානසික තත්ත්වයන් ඇතිවීම ස්වභාවිකයි. මාධ්‍ය මගින් පුවත් විස්තර කරන්නේ බොහෝ විට අතිශයෝක්තියකින්. කුතුහලය වර්ධනය කරමින් තම පුවතට වැඩි අවධානයක් දිනාගැනීමටයි ඔවුන්ට අවශ්‍ය. සමාජ ජාල මාධ්‍යයන්ගෙන් හා අවැදගත් තොරතුරු යාවත්කාලීන කිරීම් ආදියෙන් ඉවත්ව සිටීම ධනාත්මක මානසික තත්ත්වයක් පවත්වා ගන්නට හේතු වෙන්න පුළුවන්.
මීට පෙර සඳහන් කළ පරිදි නිසි අවධානයකින් යුක්තව වර්තමානය තුල ජීවත් වීම මගින් ක්‍රියාශීලීව සිටීමට හා වෘත්තීය කටයුතුවල නියැලෙන්න සහයෝගය දෙන්න පුළුවන්. ඔබගේ මනස සෘණාත්මක ආකල්පයන්ගෙන් පිරී තිබේ නම්, ඔබට සෘණාත්මක හැඟීම් දැනෙන්නට පටන් ගැනීම ඉතාම සාමාන්‍යයි. ඒ නිසා සෑම විටම විෂය මූලිකව සිතන්නට පුරුදු විය යුතුයි. කෘතඥතා පූර්වකව කටයුතු කිරීම මේ සඳහා ඉතා වැදගත්. ඔබට මනස තවදුරටත් නිරවුල්ව පවත්වාගත යුතු යැයි සිතනවා නම් ඒ පිළිබඳ වෘත්තිකයෙකු සමග සාකච්ඡා කිරීමත් ඉතාම වැදගත්.
කැරල් ගුණරත්න අමරසේකර, MSc (Applied Psych, UK), BSc (Psych Coun), Dip (Psych Coun, IRE), Dip (Child Psychology, Netherlands) ව්‍යවහාරික විශේෂඥ මනෝ චිකිත්සකවරියක් වන අතර, සේවා ස්ථාන හා අධ්‍යාපන පසුබිම් තුල විවිධ මානසික පීඩනයන්ට පත්ව සිටින පිරිස් වෙත උපදේශනය ලබාදීමේ විශිෂ්ට පළපුරුද්දක් සහිත වෘත්තීයවේදිණියකි. සේවාදායකයින් කේන්ද්‍ර කරගත් ඇගේ ප්‍රවේශය පුද්ගල මානසිකත්වය සවිබලගන්වමින් දැනුවත් තීරණ ගැනීමට හැකියාව ලබා දෙයි. සැබෑ ජීවිතය හැඩගස්වාගැනීම සඳහා උපකාරීවන න්‍යායාත්මක උපදේශන ප්‍රවේශය සම්බන්ධයෙන් ඇය ජනප්‍රියභාවයක් හිමිකරගෙන සිටින්නීය. කම්පන චිකිත්සාව, ඉමාගෝ චිකිත්සාව, සංජානන චර්යා චිකිත්සාව, ඒකාබද්ධ උපදේශනය, ගෙස්ටෝල්ට් චිකිත්සාව හා පුද්ගල කේන්ද්‍රගත උපදේශනය වැනි චිකිත්සාමය ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඇය සතු විශේෂඥභාවය ඉතා ඉහළ මට්ටමක පවතී.
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නවසීලන්තය හා ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයකම මනෝවිද්‍යා සංගමයන්හි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වශයෙන් කැරොල් මහත්මිය කටයුතු කරයි. ශ්‍රී ලංකා ජාතික මනෝ උපදේශක සංගමයෙහි හිටපු නියෝජ්‍ය සභාපතිනිය ද වන ඇය, ශැංග්‍රි-ලා හා ඩයලොග් (යෙහෙළි මනෝ උපදේශන වේදිකාව) වැනි දැවැන්ත ආයතනික ව්‍යුහයන් සමගද කටයුතු කරයි. ඇය The Sunday Morning පුවත්පතෙහි නිදහස් ලේඛිකාවක වශයෙන් ද කටයුතු කරන අතර, සිරස හා TV1රූපවාහිනී නාළිකාවන්හි මනෝවිද්‍යා උපදේශන වැඩසටහන් සඳහා ආරාධිත අදහස් දක්වන්නියක් වශයෙන්ද සහභාගී වන්නීය. කොළඹ හා ජාඇල ප්‍රදේශයන්හි ඇය විසින් පුද්ගලික මනෝ චිකිස්සක සායන පවත්වාගෙන යන අතර, 0761999908, 0779925939 හා 0718241455 යන දුරකථන අංක මාර්ගයෙන් ඇය ඇමතීමේ හැකියාව තිබේ.