ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 13/09/2019
දරුවන් අසනීප වීම දෙමව්පියන් ඉතාමත් නොසන්සුන් වන අවස්ථාවකි. එම නිසාම ඉතා ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර ද ලබාගැනීමට පෙළඹේ. මෙසේ ලබාගත් ඖෂධ දරුවාට දීමේදී ද ඒ හා සම්බන්ධව ගැටළු රාශියන් පැනනැඟේ. මේ ලිපියෙහි අරමුණ දරුවෙකුට ඖෂධ ලබාදීමේ දී සැලකිය යුතු කරුණු හා පිළිපැදිය යුතු දේ පිළිබඳව සාකච්ඡා කිරීමයි.
ඖෂධ ලබාදීමේ දී ඉතාම වැදගත් කරුණු වන්නේ එම ඖෂධ ලබාදී ඇත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු දරුවා පරීක්ෂාකර බැලීමෙන් පසුව වීමයි. සමාන රෝග ලක්ෂණ තිබූ පමණින්ම වෙන අයෙකුට නිකුත් කළ බෙහෙත් වර්ග වෛද්‍ය අවවාදයකින් තොරව තව අයෙකුට දීමෙන් වලකින්න. එමෙන්ම තවත් සමහරු රෝග ලක්ෂණ සඳහන් කර ඖෂධහලකින් ඖෂධවේදියා සඳහන් කරන බෙහෙත් ලබාදීම ද සිදු කරයි. මෙම සියල්ලම ඉතාමත් භායානක ප්‍රතිඵල ලබාදියහැකි අවස්ථාවන්ය. සමහර ආලේපන වර්ග (cream වර්ග) සමෙහි ඇති දදයන්ගේ ආරම්භක ස්වරූපය වෙනස් වී රෝග විනිශ්චයට ඒමට අපහසු විය හැකි මෙන්ම සමහර අවස්ථාවල ඒවා ඉතා නරක තත්ත්වයට පැමිණ තව දුරටත් සම පුරා පැතිරී යන අවස්ථා ද ඇත.
වෛද්‍යවරයකුගෙන් ලබාගන්නා ඖෂධ ලබාදීමේ දී පහත කරුණු අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතුය.
මෙහිදී අප සුලබව දකින දෙයක් නම් දරුවාගේ රෝග ලක්ෂණ සමනය වීමත් සමගම දෙමාපියන් බෙහෙත් නැවතීම සිදු කරයි. එවිට සිරුරෙහි ඉතුරු වී ඇති බැක්ටීරියා ආදිය නැවත වර්ධනය වී දින ගණනකට පසුව රෝග ලක්ෂණ නැවත ඇති කරයි. එවිට එම ක්ෂුද්‍ර ජීවීන් බොහෝවිට වර්ධනය වන්නේ පළමුවෙන් දුන් ප්‍රතිජීවකය හමුවේ නැසිය නොහැකි Resistant) ලෙස බැක්ටීරියා ගහණයක් ඇති කරගනිමිනි. එම නිසා වෛද්‍යවරුන්ට ඊට වඩා ප්‍රබල ප්‍රතිජීවක දීමට හෝ නික්ෂේපන ලෙස ඖෂධ දීමට සිදුවන අවස්ථාද ඇත.
ඔබ දරුවකු වෛද්‍යවරයකු වෙත රැගෙන යාමේ දී එම රෝගයටම හෝ එම කාලයේදීම පවතින වෙනත් රෝගි තත්ත්වයන්ට එයට කලින් බෙහෙත් රැගෙන තිබේනම් එම බෙහෙත් ලියන ලද තුන්ඩුව හෝ බෙහෙත් රැගෙන ගොස් වෛද්‍යවරයාට පෙන්වන්න. නමුත් ශිතකරණයේ අනිවාර්යයෙන්ම තිබිය යුතු බෙහෙත් වෙනුවට එහි පෙට්ටිය පමණක් ගෙන යන්න. ඔබට එහි බෙහෙත්වල අතේ ඇති දුරකථනයෙන් ගත් ඡායාරූපයක් වුවද පෙන්විය හැකිය. වෛද්‍යවරයා ඖෂධ නියම කිරීමේ දී මුලින් දී ඇති බෙහෙත් දැන ගැනීම ඉතා වැදගත් වේ.
ඔබේ දරුවා ඖෂධවලට හෝ ආහාරවලට යම් අසාත්මික (Allergy) තත්ත්වයන් ඇති නම් එය වෛද්‍යවරයාට කීමට අමතක කරන්න එපා. දරුවාට ලබාදෙන ඖෂධ වලින් ඇතිවිය හැකි අතුරු ඵලයන් ගැනද වෛද්‍යවරයාගෙන් විමසන්න. එක් එක් ඖෂධය නියම කරන්නේ කුමන කාර්යයන් නිසාද යන්න ගැනත් යම් අදහසක් ඔබට තිබිය යුතුයි. එම නිසා එයත් අසා දැනගැනීම සුදුසුය.
හමේ බිබිලි ඇතිවීම, ක්ලාන්තය, වලිප්පුව, ශ්වසන අපහසුතා, මුත්‍රා සමඟ ලේ පිටවීම් වැනි ලක්ෂණ ඖෂධ ලබාදීමෙන් පසු ඇතිවන්නේ නම් වහාම එය දීම නවතා වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ඖෂධයක් ලබාදිමේ දී එය ලබාදෙන්නේ ආහාරයට පෙර ද පසුව ද යන්න දැන ගැනීම හා එය පිළිපැදීම ඉතා වැදගත් ය.
දියර වර්ග පෙවීමේ දී ප්‍රමාණය මැනීමේ දී ගෙදර දොර පාවිච්චි කරන භාජන පාවිච්චි කරන්න එපා. එවායින් මැනීම නිවැරදි නොවේ. එම නිසා බෙහෙත් බෝතලය සමඟ ඇති කුඩා කෝප්පය හෝ හැන්ද පාවිච්චි කර බෙහෙත් මනින්න.
එසේම දියර බෙහෙත් පෙවීමේ දී දරුවා නින්දේ සිටීමේ දී හෝ නිදිමතින් සිටින අවස්ථාවල දී බෙහෙත් පෙවීම කරන්න එපා. පෙවීමට හැන්ද, සිරින්ජරය, ඩ්‍රොපර් (DROPPER) යනාදිය භාවිතා කළ හැක. සිරින්ජරයක් (SYRINGER) මඟින් දත් හා කම්මුල අතර ඇති අවකාශයට සෙමින් දැමීමෙන් දරුවා එය පිටතට විසි කිරිමේ හැකියාව අවම වේ.
බෙහෙත ලබාදී විනාඩි 30ක් ඇතුලත දරුවා වමනය කරයි නම් එම බෙහෙත් එම ප්‍රමාණයෙන්ම නැවත ලබාදෙන්න. එම කාලය තුළ බෙහෙත් සම්පූර්ණයෙන් සිරුරට උරාගැනීමට අවකාශයක් නැති නිසා එය කිරීම අවශ්‍ය වේ.
බෙහෙත් ලබාදීමට කලින් බෝතලයේ අලවා ඇති ලේබලය දෙස බලා එය නිවැරදි ඖෂධය බව ස්ථිර කරගන්න. භාවිතයට කලින් බෝතලය සෙලවීමෙන් අවක්ෂේපනය වී ඇති බෙහෙත් සමානව දියරය තුළ පැතිරේ. එම නිසා සැම විටම බෙහෙත දිමට පෙර බෝතලය සොලවන්න.
බෙහෙත් පෙති වර්ග දිමේ දී දරුවා ඉතා කුඩා නිසා නම් පෙති ගිලීමට බලකරන්න එපා. එය කුඩු කර ජලයෙහි දියකර ලබාදෙන්න. දරුවා තරමින් ලොකු වුවද ඔහු/ඇය පෙති ගිලීමට අපහසු බව කියයි නම් පෙති ගිලීමට බලකරන්න එපා.
දරුවා බෙහෙත් බීම මුලුමනින් ප්‍රතික්ෂේප කිරීම කරයි නම්, ඔබ කලබල නොවන්න. දරුවාට තරවටු කිරීමට යන්න එපා. එහෙත් එම බෙහෙත ලබාදීමේ අවශ්‍යතාව සන්සුන්ව හා දැඩි ලෙස කියා සිටින්න. දිනපතා දිර්ඝ කාලයක් දෙන ඖෂධයක් නම් එය එදිනෙදා දින චර්යාවේ අංගයක් කරගන්න.
බෙහෙත් ගබඩාකර තැබීමේ දී දරුවාට ගත නොහැකි තැනක තැබිමට වගබලාගන්න. සමහර බෙහෙත් වර්ග දරුවාට විවෘත කළ නොහැකි බෝතල්වල අසුරා ඇති අතර වැඩිහිටියන්ගේ බෙහෙත් වර්ග ද දරුවාට අසු නොවන තැනක තබන්න. දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ බෙහෙත් එකම තැන තැබිමෙන් වළකින්න. දියර වර්ග හැම විටම එම අදාළ බොතලයේම තබන්න. දරුවාගේ බෙහෙත් දීමේ කාලසීමාව ඉවර වු පසු එම බෙහෙත් ඉවත දමන්න අමතක කරන්න එපා. දරුවා වැඩිහිටි අයගේ බෙහෙතක් බී ඇත්තනම් වහාම රෝහලට රුගෙන යන්න.
ළමා රෝග
විශේෂඥ වෛද්‍ය
සේපාලිකා ඉලංගකෝන්
(MBBS, DCH, MD)
මූලික රෝහල - මීරිගම