ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 17/07/2019
හානිකර අපවිත්‍රකාරක වාතයට එක්වූ විට වායු දුෂණය සිදුවෙයි. මෙම ක්‍රියාව නිවාස තුළ ඇති වාතයට සිදුවූ විට ගෘහස්ත වායු දුෂණය සිදුවෙයි. නිවාස තුළ වායු දුෂණය භයානකවන්නේ දූෂකවල සාන්ද්‍රණය පිටතට වඩා වැඩි බැවින්ය.
ගෘහස්ත වාතය ‘දූෂක වායු’ හෝ ‘අංශු’ මගින් දුෂණය විය හැකිය. වැඩිවෙමින් පවතින නාගරීකරණය හේතුවෙන් ද ගෘහස්ත වාත දූෂණය වැඩි වී ඇත.
නිවසේ සිටින සියලු ම පුද්ගලයන් මෙම තත්ත්වයෙන් පීඩා විඳින අතර දීර්ඝ කාලයක් නිවසේ රැඳී සිටින්නන්ට තිබෙන ප්‍රතිවිපාක වැඩිය. මේ අතරින් කුඩා දරුවන් 80%ක පමණ කාලයක් නිවසේ ගතකරන අතර ඔවුන්ට අවේණික වූ ලක්ෂණ නිසා ගෘහස්ත වායු දුෂණය මගින් වන බලපෑම් පවුලේ වැඩිහිටි සාමාජිකයන්ට වඩා වැඩිය.
කුඩා දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඇයි?
කුඩා දරුවන්ගේ ශරීර ස්කන්ධ ඒකකයක් මගින් අවශෝෂණය කරන දුෂිත වායු ප්‍රමාණය වැඩිහිටියන්ට වඩා වැඩිය.
දරුවන්ගේ වර්ධනය ඉතා වේගයෙන් සිදුවෙන බැවින් විවේකිව සිටින විට පරිවෘත්තීය වේගය වැඩිය. තවද ශරීර ස්කන්ධ ඒකකයක් මගින් ඔක්සිජන් පරිභෝජනය කරන අනුපාතිකය ද වැඩිහිටියන්ට වඩා වැඩිය. එමනිසා ඔවුන් වැඩි ප්‍රමාණයක් වාතය ආශ්වාස කරයි.
දරුවන්ගේ ශ්වසන මාර්ගය වැඩිහිටියන්ට වඩා පටුය. මීට අමතරව ඔවුන්ගේ ශ්ලේෂ්මල ග්‍රන්ථීන් විශාලය. එමගින් වැඩිපුර ශ්‍රාවයන් නිපදවයි. ඔවුන්ගේ ශ්වසන මාර්ගය තවමත් නොමේරු තත්ත්වයේ නිසා එය ඉදිමීමට තිබෙන ඉඩකඩ ද වැඩිය.
මෙම සියලු ම ක්‍රම මගින් ශ්වසන මාර්ග අවහිරවීමට වැඩි අවදානමක් ඇති බව පැහැදිලිය.
දුෂිත අංශු සහ වායු පෙනහළුවලට සෘජුවම හානිකරයි. හානිකරභාවය දුෂිත අංශුවල ප්‍රමාණය මතද, වායුවල ද්‍රව්‍යතාවය මතද තීරණය වේ.
දරුවන්ගේ පෙනහළු ස්නායු පද්ධතිය හා සමානව ඉතා වේගවත් රේඛිය වර්ධනයක් පෙන්වයි. මෙම වර්ධන ක්‍රියාවලියේ යම් ස්ථානයක සුළු හෝ හානියක් සිදුවුවහොත් ශ්වසන පද්ධතියේ ව්‍යුහයට මෙන්ම ක්‍රියාකාරීත්වයට අහිතකර ප්‍රතිඵල ගෙනදෙයි.
මේ හේතුන් නිසා කුඩා දරුවන් ගෘහස්ත වායු දුෂණයෙන් වැඩි අවධානයක් යොමු කොට ආරක්ෂා කර ගත යුතුය.
ගෘහස්ත වායු දූෂණය සිදුවන්නේ කෙසේද?
දැන් ගෘහස්ත වායු දූෂණය සිදුවිය හැකි ක්‍රම ගැන අවධානය යොමු කරමු. සෑම නිවසකම පාහේ සුලබතම ගෘහස්ත වායු දූෂණය වන ක්‍රමයවන්නේ නිවාස තුළ ආහාර පිසීමයි. මේ සඳහා දර, ලී කුඩු, ගෑස්, විශේෂ අවස්ථාවලදී ගල් අඟු රු වැනි දේ ද භාවිතා කරයි. මෙමගින් කාබන් මොනොක්සයිඞ්, නයට්‍රජන් ඩයොක්සයිඞ්, පොලිසයික්ලික් ඇරොමැටික් හයිඞ්රොකාබන් (PAH) වැනි ශ්වසන මාර්ගයට ඉතාම අහිතකර දුම් පිට වේ.
ලෝක ජනගහනයෙන් බිලියන 3ක් පමණ එනම් 10% සිට 15%ක් පමණ ඝන ඉන්ධන (දර, ගල් අඟු රු) නිවෙස්වල භාවිතා කරයි.
කුඩා දරුවන් බොහෝවිට මව සමගම සිටින බැවින් මව මුළුතැන් ගෙයි වැඩකටයුතු කිරීමේදී දරුවන් මෙම වායුවලට විශාල වශයෙන් නිරාවරණය වෙයි.
නිවෙස්වල දල්වන මදුරු දඟර, ඉටිපන්දම් සහ හදුන්කූරුවලින් වහනය වන අංශු (particulate matter) මගින් ද වාතය දූෂණය වෙයි. මීට අමතරව සිගරට් පානය මගින් පිටවන දුමෙන් හානිකර නයිට්‍රජන් අඩංගු සංඝටක වාතයට එකතු වේ.
බාහිර පරිසරයේ වාතය දුෂණය වී ඇත්නම් එමගින්ද ගෘහස්ත වාතය දූෂණය විය හැකිය.
මෙවැනි දූෂිතයන්ගෙන් කැස්ස, පපුවේ සිරකිරීම හෝ අපහසුතාවය, ඇස්වල, ශ්වසන පද්ධතියේ අසාත්මිකතාවන් ඇතිවීම, නියුමෝනියාව වැනි රෝග තත්ත්ව සහ ඇදුම තත්ත්වය උග්‍රවීමද සිදුවිය හැකිය. දීර්ඝ කාලීනව මෙම දුෂිත දුම්වලට නිරාවරණයවීමෙන් පෙනහළු වර්ධනය අඩු වී, ක්‍රියාකාරීත්වය අඩු වන අතර, පසු කාලයකදී COPD (Chronic Obstructive Pulmonary Disease) තත්ත්වයක් ඇතිවිය හැකිය. තවද මුළුතැන්ගෙයින් පිටවන කාබන් මොනොක්සයිඞ් වායුව ආශ්වාස කිරීමෙන් මරණය පවා ඇතිවිය හැකිය.
මෙම දූෂිත දුම් වලින් වැළැක්වීමට නිවෙස් වල දොරවල් ජනේල විවෘත කොට වාතාශ්‍රය වැඩිකිරීම, අවශෝෂක පංකා (exhaust fan) මගින් වාතය ගලායාම වැඩිකිරීම, ආහාර පිසීමට තිබෙන මුළුතැන්ගෙය සාලයෙන් වෙන්කිරීම, ආහාර පිසීමේදී භාජනවල පියන වසා තැබීම සහ දරුවන් ආහාර පිසින ස්ථානවලට රැගෙන නොයාම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය.
පළිබෝධනාශක භාවිතා කරන ඇතැම් පළාත්වල පරිසරයේ එම අංශු ඇති අතර ඒවා බිම් මට්ටම අසල වැඩි සාන්ද්‍රණයකින් පවතී. තවද කාපට්, මෘදු සෙල්ලම් භාණ්ඩ (soft toys) වල එම අංශු දිගු කාලයක් රැඳී පවතී.
මෙම අංශු මගින් ආසාත්මික තත්ත්ව ද පළිබෝධනාශක ආඝ්‍රාණයවීම මගින් විෂවීම් ද ඇතිවිය හැකිය.
කුඩා දරුවන් බිම මත බඩගාන විටද, සෙල්ලම් බඩු භාවිතා කර සෙල්ලම් කරන විටද, තම දෙඅත් මුඛයට ගැනීම මගින්ද මෙම දූෂකවලට නිරාවරණය වේ.
තවද පිරිසිදුකිරීමට භාවිතා කරන ද්‍රාවණ වර්ග ද (solvents, cleaning products, dry cleaning fluids), තීන්ත වර්ග, පොලිෂ් වර්ග, සුවඳ විලවුන්වල ද වාෂ්පශීලී කාබනික සංයෝග ඇත. මේවා ආශ්වාස කිරීමෙන් ශ්වසන මාර්ගයේ ආසත්මිකතාවයන් ඇතිවිය හැකි අතර ඇදුම තත්ත්වයන් ද, දීර්ඝ කාලීනව නිරවරණයවීමෙන් අක්මාව, වකුගඩු, ස්නායු සහ රුධිර සංසරණ පද්ධතියට ද හානි විය හැකි අතර පිළිකා තත්ත්වයන් ද ඇතිවිය හැකි ය.
නිවසේ සුරතල් සතුන්ගේ ලෝම, කැරපොත්තන්ගේ කොටස් සහ මලපහ, වෙනත් සුරතල් සතුන්ගේ මලපහ, දූලි මයිටාවන් ( dust mites), දිලීර (moulds), මල්වල පරාග (pollen) වැනි ජෛව විද්‍යාත්මක දූෂිත ද ඉතා සුලභව නිවෙස්වල ඇත. මෙමගින් සමේ, ශ්වසන මාර්ගයේ සහ ඇස්වල අසාත්මිකතා, හිසරදය මෙන්ම ඇදුම තත්ත්වද ඇතිවිය හැකිය.
රේඩොන් (Radon) වායුව පස් සහ ගල්වල සංඝටක බිඳවැටීමෙන් වහනය වෙයි. මෙම වායුව සාමාන්‍ය පරිසරයේ ඇතත් එය බාහිර වාතයේ විසිරී ඇති බැවින් එය හානිකර නැත. නමුත් නිවාස තුළ වාතාශ්‍රය අඩු විට මෙම වායුවේ සාන්ද්‍රණය වැඩිවෙයි. මෙහි වැඩිම ප්‍රතිශතය පහළ හෝ බිම් මහල්වල ඇති අතර පොළොවේ ඉරිතැලීම් වලින් මෙම වායු නිවාස තුළට වහනය විය හැකිය. මෙම වායුව පෙනහළු පිළිකාවලට ලොව දෙවන හේතුව ලෙස නම් කර ඇත.
ලොව සමහර රටවල්වල තහනම් කර ඇති ඇස්බැස්ටස් ලංකාවේ වහල සෙවිලි කිරීමටද, තාප පරිවාරකයක් ලෙසද භාවිතා කරයි. ඇස්බැස්ටස් ඉතාම ශක්තිමත් අමුද්‍රව්‍යයක් බැවින් එය ගොඩනැගිලි කර්මාන්තයේ විශාල වශයෙන් භාවිතා වේ. ඇස්බැස්ටස් අඩංගු ද්‍රව්‍ය පළුදු වූ විට හානිකර ද්‍රව්‍ය පිට වෙයි. මෙමගින් කෙටිකාලීනව හානියක් නැති අතර දීර්ඝ කාලීනව නිරාවරණයවීමෙන් පෙනහළු පිළිකා සහ පෙනහළු ප්ලූරා පටලපිළිකා (malignant mesothelioma) ඇතිවිය හැකිය. කුඩා ළමුන් මෙයට නිරාවරණයවීමෙන් වැඩිහිටිවියේදී පිළිකා ඇතිවිය හැකි බැවින් විශේෂ අවදානමක් ඇත. නිවසේ වැඩිහිටියන් රැකියාව කරන ස්ථානයේ දූෂක ඔවුන්ගේ සපත්තු, ඇදුම් වලින්, සමෙන් පවා නිවසට රැගෙන ආ හැකිය. එමනිසා එවන් අවදානමක් ඇතිවිට දරුවන්ට සමීපවීමට පෙර ස්නානය කර මනාව පිරිසිදුවිය යුතුයි.
ඉහත සඳහන් අකාරයට කුඩා දරුවන්ට ගෘහස්ත වායු දූෂණය මගින් වන හානිය ඉතා විශාල සහ දීර්ඝකාලීන බව ද, ගෘහස්ත වායු දූෂණය නොසිතු නොයෙක් ආකාර වලින් සිදුවිය හැකි බව ද පැහැදිලිය. එමනිසා, කුඩා දරුවන් සුරක්ෂිත යයි සලකන නිවසේදී ඇතිවිය හැකි මෙවැනි අවදානම්වලින් ඔවුන්ව සාවධානව රැකබලාගැනීම අපගේ වගකීමයි.
වෛද්‍ය දීපිකා හේරත්
MBBS, MSc (Community Medicine)