ඉතුරුම්
ඔබේ සිහින සැබෑ කරගන්නා අතරම, ඔබේ ආදරණීයයන්ට රැකවරණය සලසන්නට ඔබට සහාය වන විසදුම් අප සතුව ඇත.
Colombo, 10/10/2019
ලොව දිනකට, මසකට, වසරකට මියයන පුද්ගලයන් ප්‍රමාණය සැලකූවිට ඉන් වැඩිම ප්රතිශතයක හිමිකම් කියන්නේ හදවත් රෝගීන්ය. එසේම එලෙස මියයන ප්‍රමාණයටම සමාන පිරිසක් ඉන් පීඩා විඳිමින් ද ජීවත් වේ. වර්තමානයේ අප ගතකරන පීඩාකාරී අති කාර්යබහුල ජීවිතය මීට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක. හුස්මක් ගන්නටවත් වෙලාවක් නැතැයි පවසන උදවිය අප අතර කොතෙකුත් සිටීද? එවැනි ජීවන රටාවක අප ලබාගන්නා ආහාරයේ සමබල බව, පෝෂණීය බව, නැතැතින්ම ගිලිහී යයි. එහෙත් අන් සෑම බෝ නොවන රෝගයකට මෙන් හදවත් රෝගයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ද අප මූලිකවම අනුගමනය කළ යුතු පිළිවෙත වන්නේ විචාරවත් ආහාර කළමනාකරණයයි.
නිරෝගී හදවතකට සුදුසු ආහාර
හදවතකට හොඳ යැයි කතා කරන ආහාර අතර මේදය අඩු ආහාර මෙන්ම මේදයෙන් තොර ආහාර වර්ගද ඇතුළත් වේ. එමෙන්ම නිරෝගී හදවත ක්‍රියාකාරීත්වයට ලුණු අඩුවෙන් භාවිතයත්, කෙඳි සහිත ආහාර හැකිතාක් ලබාගැනීමත් ඉතා සුදුසු පිළිවෙතයි. අප කවුරුත් දන්නා පරිදි හදවත නිර්මාණය වී ඇත්තේ ප්‍රෝටීනමය මාංශ පේශි වලිනි. එහි ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය විටමින්, ඛණිජ ලවණ, අනෙකුත් විටමින් වර්ග, ඛණිජ වර්ග සපිරි කොළ වර්ග, එළවළු, පළතුරු, මාළු වර්ග, රනිල කුලයේ ඇට වර්ග සහ බත් සහිත සම බල ආහාර රටාවකට කුඩා කල සිටම දරුවන් පුරුදු වීම හදවත් රෝගයට නිර්භයව මුහුණ දිය හැකි දීර්ඝකාලීන සැලැස්මකි.
අලුත් එළවළු, පළතුරු, කොළ පැහැති පලා වර්ග, වියළුණු පළතුරු, මේදය අඩංගු නැති ආහාර (Fat free), මේදය අඩු ආහාර වර්ග(Low fat), ඇට වර්ග, ධාන්‍ය, කහ සහ කොළ පැහැති බෝංචි, වට්ටක්කා ඇට, කළු චොකලට් ආදිය හදවතෙහි ක්‍රියාකාරිත්වයට හිතකර යැයි විශේෂඥ මතයයි. එසේම පරිප්පු, කඩල, මුං ඇට මෙන්ම ආමන්ඞ් ඒ සඳහා ඉතා සුදුසු ආහාර වේ. එසේම නිවුඩු සහල් බත්, කුරක්කන් ආදිය, හුරුල්ලන්, සැමන්, මත්ස්‍යයන් වැනි කුඩා මාළු වර්ග ද, බිත්තර සුදු මදය ද, සුදු ලූණු ද හෘදයට හිතකර ආහාර වේ.
සම්පූර්ණයෙන්ම නතර කළ යුතු ආහාර
හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය හා හෘද රෝගීන්ගේ දත්ත පදනම් කරගෙන හෘද රෝගීන් සම්පූර්ණයෙන්ම තම දෛනික ජීවිතය තුළින් ඈත් කළ යුතු ආහාර ලෙස පොල් තෙල්, පාම් තෙල්, එළවළු තෙල් වැනි තෙල් වර්ග ද, මුදවාපු කිරි, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ද, යෝගට්, චීස්, බටර් වැනි දෑ ද තම ජීවිතය තුළින් ඉවත් කළ යුතුය. සම සහිත මස් වර්ග, ඌරු මස්, බිත්තර කහ මදය, ක්‍රීම් බිස්කට් වර්ග, බටර්, මාගරින්, ඉස්සෝ, දැල්ලෝ ආදී මුහුදු ආහාර ද සම්පූර්ණයෙන්ම පාහේ හෘද රෝගීන් විසින් ඈත්කොට තැබීම නුවණක්කාර තීරණයකි.
අවම ප්‍රමාණවලින් ලබාගත හැකි ආහාර
පොල් සම්බෝල, සෝයා තෙල්, බඩ ඉරිඟු තෙල්, සීනි, හකුරු, මී පැණි, මේද රහිත කිරිපිටි, දිය කිරි වැනි ආහාර අප විසින් මධ්‍යස්ථ කරගත යුතු අතර, ඒවා අවබෝධයෙන් ගැලපෙන ප්‍රමාණයෙන් ලබාගත යුතුය.
ශරීරයේ තැන්පත් නොවන මේදය වන HDL වැඩි කිරීම මගින් ශරීරයේ ලේ නහරවල තැන්පත් වන නුසුදුසු LDL ප්‍රමාණය අඩු කිරීමට හැකියාව ලැබේ. මේවායෙහි ඇති ඇමයිනෝ අම්ල හෘදය වස්තුවේ ධමනිවලට විවේකයෙන් තම කාර්යය කිරීමට උපකාරී වන නිසා ධමනි ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවන අතර නිරන්තරයෙන්ම HDL වැඩි ප්‍රමාණයක් රඳවාගත හැකි ආහාර පාන ලබාගැනීමට අප වගබලාගත යුතුය. උදාහරණ ලෙස ගැඹුරු මුහුදේ මාළු, සැමන්, මෝරා ආදිය භාවිතයේ දී ශරීරයට ලැබෙන HDL ප්‍රමාණය අධික වේ.
වියළි ඇට වර්ග අනුභව කරන්නන් අතර හදවත් රෝගවලින් මියයන ප්‍රතිශතය 25%කින් අඩු වේ. එසේම ග්‍රීන් ටී, සෝයා කිරි, වියලි මිදි, පේර, ඇඹුල් කෙසෙල්, මල් ගෝවා, ඕට්ස්, වට්ටක්කා, ඔලිව් තෙල් ආදිය හදවත ආරක්ෂා කරන ආහාරපාන වලට අදාල වේ.
එසේම රාත්‍රියට ඉතා සැහැල්ලු ආහාරයකින් සෑහීමකට පත්විය යුතු අතර කළු පාන් පෙත්තක්, තැම්බූ එළවළු දීසියක්, බත් කෝප්ප 1/2ක් වැනි දෙයකින් සෑහීමකට පත්වීම ඉතා යෝග්‍ය වේ. කෝපි වැනි අධික කැෆෙන් සහිත පානයන් අහිතකර අතර තැඹිලි වතුර ආදිය ගුණදායක වේ. සෑම විටම ලුණු භාවිතය අවම කළ යුතු අතර සුප්කැට, රසකාරක, වර්ණ කාරක අවම ආහාරපාන භාවිතා කිරීම කළ යුතුය. ක්ෂණික ආහාර පුළුවන් තරම් අප ජීවිත තුළින් බැහැර කිරීම කළ යුතුය.
විද්‍යාකීර්ති දේශාභිමානී
වෛද්‍ය අනුර අරඹගේ
MD (Russia), Dip in PT
කළමනාකාර අධ්යක්ෂ
රාජකීය සෞඛ්‍ය සහන සේවය - මහනුවර